12/07/2026
1994 දී අකුරැස්සේ සිදු කළ ඝාතනයකට අදාලව, වසර 32කට පසුව ඊයේ මරණ දණ්ඩනය ස්ථිර කෙරුවා. ඒ, වාර කිහිපයකදී ඇපීල් කරන ලද දීර්ඝ නඩුවක්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසන් කරමින්. කෙනෙක් මිය යද්දී කරන “මරණාසන්න ප්‍රකාශවල වැදගත්කම“ ඉතාම ගැඹුරින් හෙළි කළ නඩුවක් තමයි මේ නඩු තීරණය.
මීට වසර 32කට පෙර අකුරැස්සේදී මොකක්ද වුණේ? කවුද කාවද ඝාතනය කළේ? මොකක්ද මේ මරණාසන්න ප්‍රකාශය? අවසන් තීරණය මොකක්ද? අපි දැන් ඒ ගැන විමසා බලමු.
මේ, ශ්‍රී ලංකා ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (ජූලි 10) දින තීරණය කරන ලද, SC Appeal No. 35/2020 නඩු තීරණය පිළිබඳ සටහනක්.
මොකක්ද සිදුවීම?
කතාව පටන් ගන්නෙ 1994 සැප්තැම්බර් 8 වැනිදා. මාතර දිස්ත්‍රික්කයේ, අකුරැස්ස නගරයේ “ඉඹුල්‍ගොඩ“ ප්‍රදේශයේ වූ සිද්ධියකින්.
ඊට දින කීපයකට කලින්, “ධර්මරත්න“ නම් කෙනෙක්, සියදිවි හානි කරගත්තා. ධර්මරත්නගෙ හත් දවසෙ බණ-දානමය පිංකම තමයි, සැප්තැම්බර් 8-9 දිනවල තිබුණෙ.
මේ පිංකම තිබුණෙ, සියදිවි හානිකරගත් ධර්මරත්නගෙ සහෝදරයාගෙ ගෙදර. සහෝදරයා තමයි සෝමරත්න. මේ පිංකමට මිනිස්සු 500 ක් විතර සෝමරත්නගෙ ගෙදරට ආවා. මේ ආපු පිරිස අතර හිටියා, “ජිනදාස“ සහ “ලයනල්“ කියලා දෙන්නෙක්.
බණ ඉවර වුණා. ජිනදාසයි තව කීප දෙදෙනකුයි, බිමට පැදුරක් දාලා බිම ඉඳගත්තා. ඒ බූරුවා ගහන්න බලාගෙන. ජිනදාස ඇතුළු පිරිස බූරුවා ගහන්න ඉඳගත්තහම, ලයනල් ඇතුළු පිරිසක් මේ දිහා බලා ඉන්න වටේට රැස් වුණා.
රෑ 10 පහු වුණා.
පිරිස හිටපු ගෙදරට පිටුපස්සෙන් තිබුණෙ කුඩා කන්දක්. ගේ පිටුපස කන්දෙ ඉඳන්, එක පුද්ගලයෙක් තුවක්කුවක් අරගෙන මෙතැනට ආවා.
ඇවිත්,
“එකෙක්වත් දුවන්නෙපා. ඔක්කොම වාඩි වෙන්න“ කියලා කෑ ගහලා කිව්වා.
ඊට පස්සෙ මේ තුවක්කුකාරයා, රැස්වෙලා හිටපු පිරිස දිහාට තුවක්කුව දිගු කෙරුවා. එල්ලයක් ගත්තා. ලයනල් මේ බව දැක්කා. ලයනල් ඇතුළු හැමෝම එතැනින් පැනලා දිව්වා. පැනලා ටික දුරක් දුවද්දිම ලයනල්ට ඇහුණා වෙඩි සද්දයක්. ඒ සද්දෙ ආවෙ, බූරු පිටිය තිබුණු තැනින්. හැබැයි වෙඩිල්ල තියනවා ලයනල් දැක්කෙ නෑ.
මේ වෙඩිල්ල වැදිලා තිබුණෙ, බූරු පිටියෙ හිටපු “ජිනදාස“ ට. වෙඩිල්ල තියලා තිබුණෙ පිටුපස ඉඳන්. පපුවට පිටුපසින් තමයි තුවාල වුණේ.ඊට අමතරව, වෙඩි තැබූ තුවක්කුවේ බඳෙන්, ජිනදාසගෙ ඔලුවට පහරදීමකුත් වෙලා තිබුණා. බිම ලේ තිබුණා. පොලිස් පරීක්ෂණවලදි හොයාගත්තා, තුවක්කු පහර දෙනකොට ගැලවිලා ගිය තුවක්කු මිටෙහි කොටස්.
සිද්ධිය වූ වෙලාවෙම, ජිනදාසගෙ බිරිඳ වූ “සිරියාවතී“ට මේ බව ආරංචි වුණා. එයා දුවගෙන ආවා. සිරියාවතී එද්දි, ජිනදාස එතැනම බිම වැටිලා හිටියා. සිරියාවතී මේ බව දැක්කා. ජිනදාස හිටියෙ ලේ විලක් මැද. හැබැයි ජිනදාසට කතා කරගන්න පුලුවන්කම ඒ වෙද්දිත් තිබුණා.
මේ වෙලාවෙ සිරියාවතී ඇහුවා මොකක්ද වුණේ කියලා.
ජිනදාස කිව්වා, “දියලපේ වස්තුවා වෙඩි තිබ්බා. තුවක්කු මිටෙන් ගැහුවා“ කියලා.
පසු කාලයේදි උසාවිය තුළ මේ ප්‍රකාශය වාර කීපයකදීම හරස් ප්‍රශ්නවලට ලක් කෙරුවා. ලොකු වෙනස්කමක් නැතිව සිරියාවතී දිගින් දිගටම මේ ප්‍රකාශය නිවැරදිව කිව්වා. ඒ කියන්නෙ, ජිනදාස විසින් මරණාසන්නව කරපු ප්‍රකාශය“ කිව්වා.
ඇයි මේ ප්‍රකාශය වැදගත්?
මේ වගේ ප්‍රකාශයකට කියනවා, මරණාසන්න ප්‍රකාශයක් කියලා. (Dying Declaration)
ඒ මොකක්ද?
ඒක ප්‍රකාශයක්. මරණය අබියස ඉන්න කෙනෙක් විසින් කරන ප්‍රකාශයක්. මේ ප්‍රකාශයෙන් එයා හෙළි කරනවා මරණයට හේතු වෙච්ච යමක්. ඒ කියන්නෙ තමන්ගේම මරණයට හේතු වෙච්ච දෙයක් ගැන, යමෙක් කරන ප්‍රකාශයක්. මේ ප්‍රකාශය කරන කෙනා ඊට පසුව මියයන හින්දා, මේක බොහොම ප්‍රවේසමෙන් තමයි අධිකරණය තුළ සළකා බලන්නෙ.
වෙඩිල්ලට පසුව මොකද වුණේ?
ඊට පස්සෙ, සිරියාවතී, ඇගේ සහෝදරයා වන ප්‍රේමරත්න සහ තවත් කෙනෙක් එක්ක, ජිනදාසව අකුරැස්ස රෝහලට ගෙනිච්චා. ඒ ත්‍රීවිල් එකකින්. මේ යන අතරතුරත්, ජිනදාස තවත් දෙයක් සිරියාවතීට පැවසුවා යැයි සිරියාවතී කිව්වා.
“බොන්න වතුර ටිකක් ඉල්ලුවාම, වස්තුවාගෙ අයියා ඇසිඩ් වත්කළා“ ඒ තමයි ප්‍රකාශය.
මේ ප්‍රකාශ 2ට අනුව ජිනදාසට, දියලපේ වස්තුවා වෙඩි තිබ්බා. දියලපේ වස්තුවාගෙ අයියා ඇසිඩ් වත් කෙරුවා.
හැබැයි මේ දෙවැනි ප්‍රකාශය, සිරියාවතී විසින්, ජිනදාසගෙ මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලෙස ලබා දීලා තිබුණෙ නෑ. පොලිසියට ඒ බව කියලා තිබුණෙත් නෑ. මේ අනුව, මුල් අධිකරණයේදී මේ ප්‍රකාශය නොසළකා ඉන්න අධිකරණය තීරණය කෙරුවා.
රෝහලට ගෙනයෑමෙන් පසුව මොකද වුණේ?
මේ පිරිස ජිනදාසව අකුරැස්ස රෝහලට ඇතුළත් කෙරුවා. ඊට පස්සෙ සිරියාවතී අකුරැස්ස පොලිසියට ගියා. අපරාධය ගැන පැමිණිලි කෙරුවා. ඊට කලින් මේ සිදුවීම ගැන පොලිසියට පැමිණිල්ලක් ලැබිලා තිබුණෙ නෑ. පසුව ජිනදාසව මාතර රෝහලට මාරු කරලා යැව්වා. මාතර රෝහලේදි ජිනදාස මැරුණා.
පශ්චාත් මරණ පරීක්ෂණ වාර්ථාවට අනුව, ජිනදාසගේ පපුවේ පිටුපසට වෙඩි උණ්ඩයක් ඇතුළු වී, 11 වන ඉළ ඇටයට, දකුණු පෙනහැල්ලේ පහළ කොටසට, ප්‍රාචීරයට සහ අක්මාවට මාරාන්තික හානි වීමෙන් තමයි මරණය සිද්ධ වෙලා තියෙන්නෙ. ඊට අමතරව ජිනදාසගේ කළවයේ කැපුම් 2ක් තිබුණා. මරණ පරීක්ෂණ වාර්ථාවට අනුව, මුහුණ, පපුව, බෙල්ල සහ අත්වල ඇසිඩ්වලින් ඇති වූ පිළිස්සුම් තුවාල තිබෙන බවත් හොයාගත්තා.
ඒ අනුව මරණයට හේතු වුණේ, වෙඩි තැබීම නිසා සිදු වූ අභ්‍යන්තර රුධිර වහනය.
පරීක්ෂණ කළ පොලිස් නිළධාරීන් විසින්, වෙඩි තැබීම වූ තැන තිබුණු, ලේ තැවරුණු පැදුරු 2ක්, තුවක්කු මිටෙන් කැඩුණු ලී කැබැල්ලක්, උණ්ඩ 4ක්, මුදල් සහ කාඩ් පැක් 2ක් අධිකරණයට ඉදිරිපත් කෙරුවා. ඊට අමතරව පොලිසිය විසින් තහවුරු කෙරුවා මේ ස්ථනයේ බොහොම පැහැදිලි ආලෝකයක් තිබෙන බව. යාබද කන්දේ සිට එන කෙනෙකුව මීටර් 100ක් පමණ දුර සිට හොඳින් දැකගත හැකි තරම් ආලෝකයක් තිබෙන බව.
1994 සැප්තැම්බර් 10 වැනිදා, තවත් පොලිස් නිලධාරියෙක් “කරාපිටිය“ රෝහලට ගියා. කරාපිටිය රෝහල තිබුණෙ ගාල්ලෙ. වෙඩි තැබීම වූ අකුරැස්සේ සිට සැළකිය යුතු තරම් දුරකින්. පොලිස් නිළධාරියා ගියේ, වෙඩි උණ්ඩයකින් ඇඟිල්ලක් තුවාල වූ රෝගියෙකු ගැන බලන්න. මේ රෝගියාගේ දකුණු අතේ මැණික් කටුව වෙළලා තිබුණා. ඊට අමතරව වම් අතේ, වෙදැඟිල්ලෙ කැපුමක් තිබුණා. මේ විදිහට ආපු රෝගියා තමයි, දියලපේ වස්තුවා. කොහොමද වස්තුවාට තුවාල වුණේ? ඒ ගැන මුල් අවස්ථාවේදී කිසිම පැහැදිලි විස්තරයක් තිබුණෙ නෑ.
වෙඩි තැබීම ගැන සාක්ෂි දුන් “ලයනල්“ පසුව හෙළි කෙරුවා, දියලපේ වස්තුවා සහ මියගිය ජිනදාස අතර, ඊට පෙර අඩදබරයක් හටගෙන තිබුණු බව. මේ සම්බන්ධව ඔවුන් පොලිසිත් ගිහින් තිබුණා. තමන් වෙඩි තැබීම වෙලාවෙ දුටු දේවල් ආදියත් ඔහු අධිකරණයට කිව්වා.
අධිකරණයේදි දියලපේ වස්තුවා මොකක්ද කිව්වෙ?
ඔහු මේ වෙඩි තැබීමේ චෝදනාව ප්‍රතික්ෂේප කෙරුවා. එතැනදී වෙඩි හඬක් ඇහුණු බවත්, අවට දුමින් වැහුණු බවත්, අනෙක් පිරිසත් එක්ක තමන් දිවගිය බවත් වස්තුවා කිව්වා. පසුව ඇඟිල්ලේ තුවාලයක් තිබෙන බව දැන, කරාපිටිය රෝහලට ගිය බව කිව්වා. ළඟම තිබුණු අකුරැස්ස රෝහලට නොගියෙ ඇයි කියලා ඔහු පැහැදිලි කෙරුවෙ නෑ.
මේ වගේ ප්‍රකාශවලට කියනවා “Dock Statement“ එකක් කියලා.
ඒ කියන්නෙ මොකක්ද?
මෙවැනි අධිකරණ ප්‍රකාශයක් දෙන්නෙ, දිව්රීමක් නැතිව. මේ වගේ ප්‍රකාශයක් හරස් ප්‍රශ්නවලට ලක් කරන්න බෑ. මේ වගේ ප්‍රකාශයක්, එම ප්‍රකාශය විසින්ම තදබල ලෙස ඔප්පු වෙනවා නම් හැර, අධිකරණයේදී ඒ තරම් වැදගත් ලෙස සැළකීමට බඳුන් කරන්නෑ.
මෙතැන හිටපු “රංජිත්“ නම් තවත් කෙනෙක් අධීකරණයේදි සාක්ෂි දුන්නා.
රංජිත් කිව්වා, තමන් ජිනදාස අසළින්ම බූරු ගසමින් හිටපු බව. වෙඩි හඬක් ඇහුණු බව. දුවපු බව. තමාගෙත් කකුලකට තුවාල වූ බව. ඒ වගේම වෙඩි තැබුවේ කවුදැයි තමන් දැකපු නැති බවත්, දියලපේ වස්තුවාව තමන් ඒ මුලු දිනය පුරාම එතැන ඉන්නවා දැක්කෙ නැති බවත් කිව්වා.
මේ සියළු සාක්ෂි සාධක සමඟ, මාතර මහාධිකරණය තුළ දීර්ඝ නඩු විභාගයක් පැවතුණා.
අවසානයේදි 2009, පෙබරවාරි 11 වැනිදා, මහාධිකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත් කෙරුවා.
ඒ අනුව, ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්ති ප්‍රකාරව “මිනීමැරුම“ නමැති වරද සිදු කිරීම සම්බන්ධයෙන්, චූදිතයාට මරණ දණ්ඩනය ලබා දුන්නා.
මහාධිකරණ තීරණය, චූදිතයා විසින් ගරු ශ්‍රී ලංකා අභියාචනාධිකරණයට ඇපීල් කෙරුවා.
අභියාචනාධිකරණය තුළත්, මේ සම්බන්ධව දීර්ඝ ලෙස සළකා බැලුවා.
2017 පෙබරවාරි 27 වැනිදා, අභියාචනාධිකරණය විසින්, මාතර මහාධිකරණය විසින් දුන් තීරණය ස්ථිර කෙරුවා. ලංකාවේ නීතියට අනුව, මීළඟට අවසාන වතාවට ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපීල් කිරීමේ අවස්ථාව හිමි වුණා. චූදිත විසින් මේ තීරණය නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කෙරුවා.
මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින්, ජිනදාස විසින් කළ මරණාසන්න ප්‍රකාශය, සිද්ධිය වූ තැන තිබුණු පරිවේෂණීය සාක්ෂි, අභියාචනයේදී මේ කාරණා නිසි ලෙස සළකා බැලුවාද, ඇසින් දුටු සාක්ෂිවල තත්ත්වය, චූදිතට සිදුව තිබූ තුවාලය, ආදී සියල්ල ගැන සාකච්ඡා කෙරුවා.
ශ්‍රේෂ්ඨාධිකරණයට මේ නඩුව ඇපීල් කෙරුවෙ ඇයි?
වස්තුවාගේ පාර්ශ්වය ප්‍රධාන ප්‍රශ්න 3ක් ඉදිරිපත් කෙරුවා.
පළමුවැන්න තමයි, මරණාසන්න ප්‍රකාශය ගැටළුසහගත බව.
දෙවැන්න තමයි, ඇසින් දුටු සාක්ෂි සහ, ස්ථානීය සාක්ෂි අතර ගැටළු තිබෙන බව.
තුන්වැන්න තමයි, වරද සිදු කෙරුවා යැයි කියන වස්තුවාට පවා, තුවාල සිදු වීම. මේ අනුව, වෙඩිල්ල තැබුවේ වෙනත් පාර්ශ්වයක් විය හැකි බව ඔවුන් කිව්වා. වස්තුවාද මේ සිදුවීමේ වින්දිතයෙක් බව කිව්වා.
මරණාසන්න ප්‍රකාශය සම්බන්ධයෙන් සාකච්ඡා වුණේ මොනවද?
මේ ගැන ලංකාවෙ නීතියට අනුව, නීති ප්‍රතිපාදන තියෙන්නෙ සාක්ෂි ආඥා පනතේ 32(1) වගන්තියේ. එහිදී කියනවා, තමන්ගෙ මරණය ගැන යමෙක් කරන ප්‍රකාශයක තිබෙන වැදගත්කම ගැන. ශ්‍රේෂ්ඨාධිකරණය මෙම ප්‍රතිපාදන ගැන සිය අවධානය යොමු කෙරුවා.
මේ වගන්තියට අනුව, මරණාසන්න ප්‍රකාශයක් කියන්නෙ අධිකරණය තුළ පිළිගත හැකි ප්‍රකාශයක්.
මෙහිදී අධිකරණය විසින්, Wright v. Littler (1761) සහ R. v. Woodcock (1789) යන විදෙස් නඩුවලදී සාකච්ඡා කර තිබුණු, වැදගත් නෛතික ආප්තයක් යොදාගත්තා.
ඒ තමයි,
“Nemo Moriturus Praesumitur Mentire“ නම් ආප්තය.
මේ ලතින් ආප්තයේ සරල අදහස තමයි,
“මරණාසන්න මොහොතේදී කිසිවෙක් හෝ බොරු කියන්නේ නැත“ කියන එක.
මේ ලතින් ආප්තය, ඊට පෙර විසඳන ලද නඩු තීරණවලදී දීර්ඝ ලෙස විවිධ න්‍යායන් සාකච්ඡා කිරීමෙන් පසුව, නීතියට එක් කරගත් ආප්තයක්.
නමුත් මෙවැනි ප්‍රකාශයක්, අධිකරණයට ඉදිරිපත් කරද්දී විවිධ ගැටළු මතුවෙනවා. ඒ අනුව, යමෙකුගේ මරණාසන්න ප්‍රකාශයක් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී, ඒ ගැන සළකා බලන්නට හැකි ආකාරයේ “ක්‍රමවේදයක්“ අධිකරණය භාවිත කෙරුවා.
මේ සඳහා, ගරු යසන්ත කෝදාගොඩ විනිසුරුතුමා විසින්, මූලික මූලධර්ම 10කිනුත්, සරළ පියවර 3කිනුත් යුත් පරීක්ෂණයක් භාවිත කෙරුවා.
මොනවද ඒ සරළ පියවර 3?
පළමුවැන්න තමයි, මේ මරණාසන්න ප්‍රකාශය අධිකරණයට ඉදිරිපත් කරන ඇසූ-දුටු සාක්ෂිකරු, විශ්වාසනීය සහ අවංක කෙනෙක්ද? (මේ නඩුවේදී නම් සිරියාවතී)
දෙවැන්න තමයි, මියගිය පුද්ගලයා පැවසූ දේ ඇත්තද?
තුන්වැනි පියවරට යන්නේ, ඉහත පියවර දෙකටම පිළිතුර “ඔව්“ නම් විතරයි.
තුන්වැනි පියවර තමයි, එසේ නම් මෙම ප්‍රකාශයට, සාක්ෂියක් ලෙස කොයි තරම් බරක් දිය යුතු ද?
මේ පියවර තුනෙහි පරීක්ෂණය තරමක් සංකීර්ණයි. නමුත්, අපිට දැන් වැදගත් වෙන්නෙ, මේ නඩුවට එය අදාල කරගත්තේ කොහොමද කියන කාරණය. අපි දැන් ඒ ගැන බලමු.
සිරියාවතී විශ්වසනීය සහ අවංක කෙනෙක්ද? ඔව්. ඊට හේතුව වුණේ, ඇය පොලිසියට ලබා දුන් මුල් ප්‍රකාශයේ සිටම ඇගේ මේ ප්‍රකාශය විශ්වසනීයව නොවෙනස්ව ලබා දීම. මේ ප්‍රකාශයේ පරිදි, දියලපේ වස්තුවා විසින් වෙඩි තැබූ බව දැනගැනීමට මියගිය “ජිනදාසට“ පැහැදිලිව පුලුවන්කම තිබුණා. එතැනට ඇවිත් වස්තුවා විසින් කවුරුත් දුවන්නෙපා‘යි ඔහුගේම හඬින් කෑ ගහලා කියා තිබුණා. ජිනදාස සහ වස්තුවා ඉඳලා තිබුණෙ අති විශාල දුරකින් නෙවෙයි. නමුත්, මේ මරණාසන්න ප්‍රකාශය ගැන, අභියාචනාධිකරණය මේ තරම් ගැඹුරින් සළකා බලා නොතිබූ බව, ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කෙරුවා.
ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ අභියාචනයේ මීළඟ වැදගත් ප්‍රශ්නය වුණේ, සාක්ෂි ලබාදුන් ලයනල්ගේ ප්‍රකාශය ගැන. නමුත් ඔහුගේ ප්‍රකාශය සම්බන්ධව, මහාධිකරණ තීන්දුවේ සැළකිය යුතු ගැටළුවක් නැති බව අධිකරණය තීරණය කෙරුවා.
මෙහිදී මතු වුණු, ප්‍රබලම ගැටළුව වුණේ, “දියලපේ වස්තුවා“ හෙවත් චූදිතයාට සිදු වූ තුවාලය. මේ අනුව, අභියාචකයින් තර්ක කෙරුවා, වෙනත් තුන්වැනි පාර්ශ්වයක් විසින් වෙඩි තැබූ බව. ජිනදාස මෙන්ම චූදිතයා වූ වස්තුවාද ඉන් තුවාල ලබන්නට ඇති බව. ඒ අනුව, වැරදි කෙනෙකුව චූදිතයෙක් බවට පත් කර තිබෙන බව. මේක බොහොම විශේෂ සහ ප්‍රබල තර්කයක් වුණා.
ඇත්තටම කොහොමද චූදිතයාට තුවාල වුණේ?
මේ ප්‍රශ්නය අධිකරණය ඉදිරියේ ප්‍රබල ලෙස මතු වුණා. නීතිපති පාර්ශ්වයට (අපරාධ නඩුවක වින්දිතයා වෙනුවෙන් පෙනී ඉන්නා පාර්ශ්වය) මේ ගැන පැහැදිලිකිරීමක් තිබුණෙ නෑ. මේ නිහැඬියාව විසින් වුණත්, චූදිතයාට නිදහස් වෙන්න හේතු හැදෙනවා. ඒ අනුව මෙය විසඳිය යුතුම තත්ත්වයක තිබුණා.
මේ අනුව, මුල් අධිකරණ අවස්ථාවලදී පවා භාවිත කළ විමර්ශන වාර්ථා නැවත සළකා බලන්න අධිකරණයට සිද්ධ වුණා. මේක සියලු පරීක්ෂණ 1994 අවස්ථාව තෙක් නැවත විමර්ශනය කිරීමක්. එහිදී, වස්තුවා රෝහල්ගත වීමට අදාල වාර්ථා පවා නැවත සළකා බැලුවා.
එහිදී, වස්තුවා 1994 දී කරාපිටිය රෝහලට ඇතුළත් වූ අවස්ථාවේ වෛද්‍යවරයෙකුට කළ ප්‍රකාශයක්, පැරණි වෛද්‍ය-නෛතික වාර්ථාවක සටහන්ව තිබුණා.
මේ වාර්ථාවට අනුව, 1994 සැප්තැම්බර් 8 වන දින, අකුරැස්ස ඉඹුල්ගොඩදී, තම ගෙදර හැදූ තුවක්කුවක තුවක්කු කට අල්ලාගෙන සිටියදී මෙය සිදු වූ බව, ඔහු විසින් වෛද්‍යවරයාට පවසා තිබුණා. මෙය සිදු වූ බව කියා තිබුණේත්, එදා රෑ 10ට පමණ.
ඒ අනුව, ඝාතනය සිදුව තිබුණේත්, වෛද්‍යවරයාට මේ ප්‍රකාශය කළ තැනම, එදිනම, ඒ වෙලාවට ආසන්න වෙලාවක.
මේ වෙඩිල්ලෙන්, වස්තුවාට ඔහුගේ මහපටැඟිල්ල අහිමි වන තරමේ තුවාලයක් සිදුව තිබුණා.
නමුත් මේ අතිශය විශේෂ කාරණා, අභියාචනාධිකරණ නඩු විභාගයට ඉදිරිපත් වෙලා තිබුණෙ නෑ.
මේ අනුව, චූදිතගේ (අභියාචනය කරන අවස්ථාවේදී අභියාචකගේ) තුවාලය, තුන්වැනි පාර්ශ්වයක් විසින් කළ එකක් නොව, ඔහුගේම අතින් පත්තු වූ උණ්ඩයකින් බව තහවුරු වුණා. එහි තේරුම වුණේ, වස්තුවා යනු, වෙනත් පාර්ශ්වයක් එල්ල කළ වෙඩිල්ලක අහිංසක ගොදුරක් නෙවෙයි. තමාගේම ප්‍රහාරයක ගොදුරක්. මේ වෙඩිල්ල පත්තු වූ ආකාරය ගැන දශක ගානකට කලින් ඔහු කියා තිබුණේ වෙන කතාවක්. වෙන තැනක්. වෙන සිදුවීමක්. එකම වෙනස වුණේ, ඒ වෙඩිල්ල පත්තු වුණේ, ඝාතනය සිදු කළ තැනදී බව වසර 32කට පසුව හෙළි වීම විතරයි.
මේ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයට, මහාධිකරණයේ මෙන්ම අභියාචනාධිකරණයේ සළකා බැලූ බොහෝ කරුණුත්, එහිදී සළකා බලන්නට අතපසු වූ කරුණු විශාල සංඛ්‍යාවකුත් මේ නඩුවේදී නැවත විමසා බලන්නට සිදු වුණා. අලුත් සාධක මතු වුණා. එකම සාක්ෂිවල විවිධ ස්වරූප හෙළි වුණා.
ලයනල් විසින් දුන් ප්‍රකාශය පරිදි, වෙඩික්කරුගේ පැමිණීම, දුවන්න එපා යැයි වෙඩික්කරු කළ ප්‍රකාශය, ඉලක්කය ගැනීම ආදිය සනාථ වුණා.
ජිනදාසගේ මරණාසන්න ප්‍රකාශය අනුව, දියලපේ වස්තුවා විසින් වෙඩිල්ල තැබූ බව, තුවක්කු මිටෙන් පහර දුන් බව හෙළි වුණා.
වස්තුවා විසින් කරාපිටිය රෝහලට ඇතුළත් වෙමින්, මෙම ඝාතනය වූ දිනයේ, ඒ ආසන්න තැනකදී, එම වෙලාවේම, තමන්ගේම තුවක්කුවකින් තමන්ට තුවාල වූ බව කියා තිබුණා.
මරණාසන්න ප්‍රකාශය කළ සිරියාවතීගේ විශ්වසනීයභාවය විශේෂ පියවර 3ක පරීක්ෂණයක් හරහා අධිකරණය විසින්, සාක්ෂාත් කරගත්තා.
මේ අනුව, සියළු සාක්ෂි සමස්ථයක් ලෙස සළකා බලා, මෙම ඝාතනය “සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කළ හැකි“ බව අධිකරණය තීරණය කෙරුවා.
අවසාන තීරණය මොකක්ද?
ශ්‍රේෂ්ඨාධිකරණය විසින්, 2009 දී මාතර මහාධිකරණය විසින් ලබා දුන්, පසුව 2017 දී අභියාචනාධිකරණය විසින් ස්ථිර කළ, මරණ දණ්ඩනය තහවුරු කෙරුවා. අභියාචනය ප්‍රතික්ෂේප කෙරුවා.
ඒ අනුව, “අතපත්තු හේවගේ ජිනදාස“ යන අයව ඝාතනය කිරීම සම්බන්ධයෙන්, “බරණවිල ලියනගේ සුනිල්“ හෙවත් ‘වස්තුවා‘ වදරකරු බවට තීන්දු වුණා. ඔහුට මරණ දණ්ඩනය හිමි වුණා.
නඩුවේ තීන්දුව ලබා දුන්නේ, ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමන්ලා වන, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අර්ජුන ඔබේසේකර යන විනිසුරුතුමන්ලා විසින්.
මේ නඩු තීන්දුව, ලංකාවෙ අපරාධ නීතියට එක් වූ විශේෂ තීන්දුවක්.
ඒ මෙහිදී, මරණාසන්න ප්‍රකාශ ගැන, අපි මෙම ලිපියේ සාකච්ඡා කළාට වඩා ඉතාම ගැඹුරින් සංකල්ප, සහ න්‍යායයන් ඉදිරිපත් කළ නිසා. ලංකාවේදී මෙවන් නඩු කටයුතුවලට වුවමනා ලාංකේය රාමුවක් සකසා ගැනීමට මේ නඩුව වැදගත් නඩුවක්. ඒ වගේම, නඩුවක් අභියාචනය කිරීමේදී, කොයි කවර කාරණාවලට බර දිය යුතුද යන්න ගැනත් මෙහිදී දීර්ඝව සාකච්ඡා වුණා.
ඒ අනුව, මේ විසඳුණේ, දශක තුනක් (වසර 32ක්) තිස්සේ වාද-විවාද වෙමින්, විවිධ අධිකරණවල ඇපීල් වෙමින් පැවති දීර්ඝකාලීන නීතිමය ගැටුමක්. ⚖️
🟡(නඩු තීන්දු ඇතුළු කලින් ලිපි සියල්ල, පළමුවැනි කමෙන්ට් එකේ තියෙන ලින්ක්වලින් කියවන්න පුළුවන්)
වැඩිදුර කියවන අයට නඩු අංක:
-ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක: SC Appeal No. 35/2020
-අභියාචනාධිකරණ නඩු අංක: CA Appeal No. CA 30/2009
-මහාධිකරණ නඩු අංක: No. 58/2004
සටහන: ©️Nuwan Ishara Mahagamage | නුවන් ඉෂාර මහගමගේ මහතාගෙන් උපුටාගත්තකි.