22/08/2026
*ශ්‍රී ලංකාවේ නීති ක්ෂේත්රයේ නව යුගයක්: විදේශීය දික්කසාද දැන් මෙරටදී පිළිගැනේ*
ශ්‍රී ලංකාවේදී විවාහ වී, විදෙස් රටක පදිංචියට ගොස්, එහිදී නීත්‍යානුකූලව දික්කසාද වන ශ්‍රී ලාංකිකයින් මුහුණදුන් දීර්ඝකාලීන නීතිමය ගැටලුවකට දැන් ස්ථිර විසඳුමක් ලැබී ඇත. දශක ගණනාවක් පුරා පැවති අවිනිශ්චිත නීතිමය තත්ත්වය නිමා කරමින්,
2024 අංක 49 දරන විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම හා බලාත්මක කිරීම පිළිබඳ පනත* හඳුන්වා දීමත් සමඟ, විදේශීය දික්කසාද නියෝග ශ්‍රී ලංකාව තුළ පිළිගැනීමේ විධිමත් ක්‍රමවේදයක් ස්ථාපිත වී ඇත.
*1. අතීතය:* විදේශීය දික්කසාද පිළිනොගත් යුගය සහ අධිකරණමය සන්ධිස්ථානය
මෙම නව පනතට පෙර, ශ්‍රී ලංකාවේ නීතිය යටතේ විදේශීය දික්කසාදයක් සෘජුවම පිළිගැනුණේ නැත. විදේශයකදී දික්කසාද වූ පුද්ගලයෙකුට, තම විවාහය ශ්‍රී ලංකාවේ අවලංගු කරගැනීම සඳහා මෙරට දිස්ත්‍රික් අධිකරණයක නැවත වරක් දික්කසාද නඩුවක් ගොනු කිරීමට සිදු විය. මෙය පාර්ශ්වයන්ට කාලයත්, මුදලුත් අතිරේකව වැය වූ පීඩාකාරී ක්‍රියාවලියක් විය.
මෙම අසාධාරණ තත්ත්වය වෙනස් කිරීමේ අවශ්‍යතාව අධිකරණය විසින්ම අවධාරණය කළ සන්ධිස්ථානයක් ලෙස
*ලියනගේ චම්පික හේරන්ද සිල්වා එදිරිව W.M.M.B වීරසේකර (CA/WRIT/302/2021)* නඩු තීන්දුව ඉතිහාසගත වේ. 2021 වසරේදී අභියාචනාධිකරණය විසින් ලබාදුන් මෙම තීන්දුව මගින්, විදේශීය දික්කසාදයක් පිළිගනිමින්, පැරණි නීතිමය මතයෙන් බැහැර විය.
*2. වර්තමානය: 2024 අංක 49 දරන පනත*
ඉහත අධිකරණ තීන්දුවෙන් පෙන්වා දුන් අවශ්‍යතාව සපුරාලමින්, 2024 වසරේදී මෙම නව පනත සම්මත වූ අතර, එය 2025 මාර්තු මාසයේ සිට ශ්‍රී ලංකාව තුළ පූර්ණ ලෙස ක්‍රියාත්මක වේ.
*පනතේ ප්‍රධාන විධිවිධාන:*
* *අන්‍යෝන්‍යභාවය:* මෙම පනත ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකාවේ නඩු තීන්දු පිළිගන්නා, අධිකරණ අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනයකින් *"නම් කරන ලද රටවල්"* සඳහා පමණි.
* *පිළිගැනීමේ කොන්දේසි:*
දික්කසාද තීන්දුවක් පිළිගැනීම සඳහා පහත කොන්දේසි එකක් හෝ සපුරා තිබිය යුතුය:
1. තීන්දුව දෙන අවස්ථාවේදී විවාහයේ එක් පාර්ශ්වයක් ස්ථිර පදිංචිකරුවෙකු* (Domiciled) වීම.
2. තීන්දුවට පෙර වසරක කාලයක් පුරා එක් පාර්ශ්වයක් පුරුද්දක් ලෙස පදිංචිව* (Habitually Resident) සිටීම.
3. තීන්දුව දෙන අවස්ථාවේදී එක් පාර්ශ්වයක් හෝ පුරවැසියෙකු* වීම.
* *අවසන් තීන්දුවක් වීම:* පිළිගැනීම සඳහා ඉදිරිපත් කරන තීන්දුව, අධිකරණයේ අවසන් සහ නිශ්චිත තීන්දුවක් විය යුතුය.
දික්කසාද තීන්දුව ලියාපදිංචි කර, පිළිගන්නා ලෙස ඉල්ලා *කොළඹ දිස්ත්‍රික් අධිකරණයට* (හෝ අමාත්‍යවරයා විසින් නම් කරන වෙනත් දිස්ත්‍රික් අධිකරණයකට) පෙත්සමක් සහ දිවුරුම් ප්‍රකාශයක් මගින් අයදුම් කළ යුතුය. මෙම අයදුම්පත, තීන්දුව ලබා දුන් දින සිට වසර 10ක් ඇතුළත ඉදිරිපත් කළ යුතුය.